Sinhala

ICTA සහ PwC එක්ව තාක්ෂණික සමාගම් සඳහා නව ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙයි

Summary

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්) සමාගම (PwC ශ්‍රී ලංකාව) සමඟ එක්ව තාක්ෂණික සමාගම් සඳහා  අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේදී  අනුගමනය කළ යුතු  ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙන ලදී.  මෙම අවස්ථාව සඳහා ශ්‍රී […]

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්) සමාගම (PwC ශ්‍රී ලංකාව) සමඟ එක්ව තාක්ෂණික සමාගම් සඳහා  අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේදී  අනුගමනය කළ යුතු  ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙන ලදී.  මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී. හේරත් මහතා ,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුර ද අල්විස්, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ( පුද්) සමාගමේ ගනුදෙනු සේවා අධ්‍යක්ෂ කාවින්ද වීරකෝන් ,ඩී.එෆ්.සී.සී. බැංකුවේ ප්‍රධාන  අවදානම් නිලධාරී අශෝක් ගුණසේකර  මහතා,එන්.ඩී.බී බැංකුවේ මධ්‍යම වෙළෙඳපොළ හා ව්‍යාපාර බැංකුකරණයේ උප සභාපති  ඉන්දික රණවීර මහතා, පේමීඩියා (පුද්) සමාගමේ නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක වීරමුන්ද මහතා ද එක් විය.

තාක්ෂණික සමාගම් ව්‍යාප්ත කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වේ. විශේෂයෙන් සාම්ප්‍රදායික ණය ඇගයීමේ ක්‍රම මඟින් නිශ්චිත ණය ප්‍රමාණයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාර ණයක් සඳහා සුදුසුකම් ලැබීමට  භෞතික ඇපකර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.

සීමාසහිත කැල්සි ටෙක්නොලොජීස් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න මහතා සහ ලංකා ඒන්ජල් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරී චලින්ද අබේකෝන් ,එන්ඩීබී ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් ලිමිටඩ් හි ප්‍රධාන ආයතනික උපදේශක නිලධාරී නිලේන්ද්‍ර වීරසිංහ මහතා , සිමෙක්ස්  (පුද්)  සමාගමේ අධ්‍යක්ෂ වෙලිංටන් පෙරේරා මහතා සහ සී මැසෙන්ජර් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී  ජයෝමි ලොකුලියන යන අයගෙන්  සමන්විත මෙහෙයුම් කමිටුවක නිසි සහයෝගය හා උපදේශනය සමගින් මෙම වැඩසටහන  සකස් කර ඇත .

නව වැඩසටහන  පිළිබඳව අදහස් දක්වමින්   ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. “නව්‍ය තාක්ෂණික ව්‍යවසායක පරිසර පද්ධතියට රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ හැකියාවක් පවතින මොහොතක, මෙම තාක්ෂණික සමාගම් වර්ධනය සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය වන අතර ඔවුන්ගේ විශාල අපනයන ධාරිතාව ද සැලකිල්ලට ගනී. මෙම විකල්ප ණය ඇගයීමේ ක්‍රියාවලිය මඟින් තාක්ෂණික සමාගමක් පුද්ගලික ආයෝජන මත රඳා නොසිට ණයක් සඳහා ඉල්ලුම් කල හැකිය  ”

යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීම සඳහා බැංකු කිහිපයක ණය ඇගයීම් නිලධාරීන්ගේ නිර්දේශයන් සමඟ වැඩසටහන  සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ණය ක්‍රියාවලිය සඳහා තාක්ෂණ සමාගම් තක්සේරු කිරීමේදී නව වැඩසටහන  සලකා බැලීමට සෙලාන්  බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, යුනියන් බැංකුව සහ එන්ඩීබී බැංකුව මේ වන විටත් සහයෝගය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා මෙසේ පැවසීය. “රැකියා අවස්ථා ලබා දීම තුලින් රටේ ආර්ථික වර්ධනයට තාක්ෂණික  කර්මාන්ත මූලික වේ.නමුත් බොහෝ තාක්ෂණික සමාගම් භෞතික ඇපකරයක් නොමැතිකම හේතුවෙන් ණය ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටී. COVID-19 වසංගතය හමුවේ  තාක්ෂණික  සමාගම්  අභියෝග රැසකට මුහුණ දී ඇති අතර වර්ධනය යම් දුරකට අඩපණ වී ඇත.මෙම පසුබිම තුළ, PwC සමඟ එක්ව දියත් කරන ලද නව වැඩසටහන  තාක්ෂණික කර්මාන්ත නංවාලීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.නව වැඩසටහන  සැලසුම් කිරීම සඳහා අප සමඟ හවුල් වීම ගැනත්, සමස්ත ක්‍රියාවලියම සාර්ථක කර ගැනීම සඳහා මෙහෙයුම් කමිටුවෙන් ලැබෙන  උපදේශනය හා මග පෙන්වීම ගැනත් අපි ස්තූතිවන්ත වෙමු.

PWC ශ්‍රී  ලංකා ආයතනයේ  ගනුදෙනු අධ්‍යක්ෂ කාවින්ද වීරකෝන් මහතා මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදී.” මෙම වටිනා මුලපිරුමට   PwC ආයතනය සමග  සම්බන්ධ වූ  ICTA  ආයතනයට අපි ස්තූතිවන්ත වන්නෙමු. මෙම වැඩපිළිවෙල සංවර්ධනය කිරීම සඳහා PwC ආයතනය විශේෂ උපදේශන කමිටුවක් සම්බන්ධ කර ගෙන තිබේ.ආර්ථිකයේ ඉහළ බලපෑමක් ඇති තාක්ෂණය මත පදනම් වූ ආයතන සංවර්ධනය කිරීම සඳහා නම්‍යශීලි හා නව්‍ය මූල්‍ය   පහසුකම් සැපයීමේ අරමුණින්  ණය දෙන ආයතන සඳහා මෙම රාමුව උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ”

ශ්‍රී ලංකාවේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින මූල්‍ය  තාක්ෂණික  (ෆින්-ටෙක්) සමාගමක් වන පේමීඩියා හි  නිර්මාතෘ කනිෂ්ක වීරමුන්ඩ මහතා එන්ඩීබී වෙතින් ණයක් ලබා ගෙන ඇති ආකාරය පැහැදිලි කරන ලදී .”ඔබේම සමාගමක් ආරම්භ කිරීම තරමක් අභියෝගාත්මක නමුත් ප්‍රතිලාභදායක ක්‍රියාවලියක්  විය හැකිය. “දේශීය බැංකුවකින් ණයක් ලබා ගැනීම  නව්‍ය  තාක්ෂණික ව්‍යවසායක ආයතනයක්  සඳහා හොඳ අවස්ථාවක් වී තිබේ.ව්‍යාපාරයට අරමුදල් සැපයීම සඳහා කොටස් හුවමාරු කර ගැනීමට හෝ ඇපකර ලබා දීමට සිදු වන වෙනත් නව්‍ය තාක්ෂණික ව්‍යවසායකයින්ට මෙය ඉතා වටිනා අවස්ථාවක් වනු ඇත.”

කනිෂ්ක තවදුරත් මෙසේ අදහසක් දැක්වීය “මෙම ණය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ව්‍යපාරික  යෝජනාවක් සමඟ අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙසත් මෙයින් පසුව, ණය ලබා ගැනීම සඳහා අපගේ අරමුණ  ඉදිරිපත් කරන ලෙසත් අපෙන් ඉල්ලා සිටි අතර  සති 3 කටත් අඩු කාලයකදී අපට අනුමැතිය ලැබී ණය ලබා දෙන ලදී.සමස්ත ක්‍රියාවලියම සිදු වූයේ COVID-19 වසංගතයේ දෙවන රැල්ල අතරතුරය.”

ශ්‍රී ලංකා, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  පුරෝගාමී වේ. 2010 සිට (ICTA) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය “නව්‍ය තාක්ෂණික ව්‍යාපාර  පද්ධති සංවර්ධන” (Startup Ecosystem Development) උපායමාර්ගික ව්‍යාපාර  ඒකකය මගින්  රට තුළ නව තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන් ආරම්භ කිරීම, නව්‍ය තාක්ෂණික ව්‍යාපාරයන්හි   ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මුල් අවධියේ අරමුදල් සැපයීම සහ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය  දැනුම  ලබා දීම අරමුණු කරයි.

මෙම නව ඇගයීම් වැඩසටහන  පිලිබඳ  විමසීම් තිබේ නම්  [email protected] වෙත දන්වා සිටින්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *