Sinhala

Industrial Asphalts Ceylon සමාගමේ ව්‍යපාර පුළුල් කිරීමේ විශාල ප්‍රාග්ධන සැළැස්ම සඳහා එහි කොටස්කරුවන්ගේ අනුමැතිය

Summary

කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන,  ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධති සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කරන ලද සමාගමක් වන Industrial Asphalts Ceylon PLC – IAC (ASPH.N) හිමිකම්  නිකුත්තුවක් (rights issue) හරහා රුපියල් මිලියන 149කට අධික […]

කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන,  ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධති සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කරන ලද සමාගමක් වන Industrial Asphalts Ceylon PLC – IAC (ASPH.N) හිමිකම්  නිකුත්තුවක් (rights issue) හරහා රුපියල් මිලියන 149කට අධික ප්‍රාග්ධනයක්  රැස් කිරීමකට සිය කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගෙන තිබේ.  මෙම ප්‍රාග්ධන රැස් කිරීමේ කාර්යයේ ප්‍රධාන අරමුණ වනුයේ එම සමාගමේ ඉදිරි ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේ දැක්මයි.  

ඒ අනුව IAC හි සියලුම කොටස්කරුවන් විසින් මෙම හිමිකම් නිකුත්තුව පිළිබඳ යෝජනාව  2020 ජූලි 27 වන දින පවත්වන ලද අතිවිශේෂ මහා සභා රැස්වීමේදී සම්මත කරන ලදී.  මෙම අවස්ථාව හරහා සියලුම කොටස් ආයෝජකයින්ට හිමිකම් මිලදී ගැනීම තුළින් හිමිකම්  නිකුත්තුව සඳහා සහභාගී වීමටත්, අතිරේක කොටස් මිලදී ගැනීමටත් අවස්ථාව හිමි වේ. 

වසර 56ක ඉතිහාසයක් ඇති මෙම සමාගම මහාමාර්ග පද්ධති සංවර්ධනය සඳහා අවශ්‍ය විශාල පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් වෙළඳ පොළට ඉදිරිපත් කරයි.  ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ආසියානු කලාපයේම නවෝත්පාදනයේ  ප්‍රමුඛයා  වන  IAC බිටුමිනස් කර්මාන්තය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති විශිෂ්ඨ සමාගමකි.

වෙළඳ පොළේ නම ගිය NOLEAK ®, BRITEX®, SEALKOTE ®, EXCHEMIE ®  ඇතුළු ප්‍රසිද්ධ සන්නාම රැසක හිමිකරුවන් වන්නේද  IAC සමාගමයි. තවද පුළුල් පරාසයක විහිදුණු කර්මාන්ත හා ගෘහස්ථ භාවිතය සඳහා වන ඉහළ ගුණත්වයෙන් සහ තත්ත්වයෙන් යුත් බිටුමිනස් සහ  මතුපිට ආලේපන (Surface Coatings) ආශ්‍රිත නිෂ්පාදන රැසක් මෙම සමාගම වෙළඳ පොළට නිකුත් කරයි.  සෑම කර්මන්තයකටම ගැළපෙන සහ වඩාත් ක්‍රියාකාරී නිෂ්පාදන රැසකින් IAC නිෂ්පාදන කලඹ සමන්විත වේ.

ඕනෑම සන්නාමයක වෙළද පොළ ජනප්‍රියත්වය තීරණය කළ හැක්කේ වෙළඳ නාමයට ඇති පාරිභෝගික කැමැත්ත මතයි.  පාරිභෝගිකයා නිතරම උත්සහ කරන්නේ තමන් ගෙවන මුදලට උපරිම වටිනාකමකින් යුත් නිෂ්පාදනයක් මිලදී ගැනීමටයි. IAC විසින් වෙළඳ පොළට නිකුත් කරන සියළුම නිෂ්පාදන උසස් තත්ත්වයෙන් සහ කල්පැවැත්මකින් යුක්ත වන අතර ඒ හේතුවෙන්  මාර්ග ඉදිකිරීම් හා සංවර්ධනය සඳහා පුළුල් ලෙස යොදා ගන්නා සන්නාමයක් බවට පත්වී හමාරය. 

බිටුමන් ඉහළ ශක්තියක්, නම්‍යශීලී බවක් සහ කල්පැවැත්මක් ලබා දීම සඳහා මාර්ගවල යෙදුම්වල බන්ධකයක් ලෙස ක්‍රියා කරයි.  වර්තමාන රජයේ දැක්ම අනුව, ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මහාමාර්ග සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘතීන්හි විශාල වර්ධනයක් ඇති වන බව දැකිය හැකි අතර, මේ තුළින් IAC සන්නාමය හා බැඳුණු නිෂ්පාදන සඳහා ඉදිරියේදී අධික ඉල්ලුමක් ඇති වන බව නිසැකයෙන්ම කිව හැකිය. සෑම ව්‍යපාර ක්ෂේත්‍රයකටම ඍණාත්මක බලපෑමක් එල්ල කල COVID-19 වසංගතය හමුවේ ඉදිකිරීම් සහ සංවර්ධන ක්ෂේත්‍රයන්හටද අධික බලපෑමක් එල්ල විය.  නමුත් ඉදිරියේදී ඉදිකිරීම්  ක්ෂේත්‍රයන්ගේ සුවිසල් වර්ධනයක් අපේක්ෂා කල හැකිය.  විශේෂයෙන්ම වර්ෂ 2021 සිට 2025 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ  යටිතල පහසුකම් අංශය සහ මහාමාර්ග ඉදිකිරීම්  සැලකිය යුතු ලෙස ඉහළ වර්ධන වේගයක් අත්කර ගනු ඇත. මෙය සමාගමේ නිෂ්පාදන ඉල්ලුමට ඍජුවම ධනාත්මක බලපෑමක් එල්ල කරයි. 

හිමිකම්  නිකුත්තුවෙන් සිදු වන අරමුදල් ගලා ඒම තුළින් ඉදිරියේදී වෙළඳපලේ ඇතිවන ඉහළ ඉල්ලුමට මුහුණ දීම සඳහා,  සමාගමේ මූලික නිෂ්පාදන වර්ධනය ආශ්‍රිත ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට සහ වැඩි දියුණු කිරීමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය වර්ධනය කිරීමට සමාගම අපේක්ෂා කරයි.  

ගෝලීය බිටුමන් වෙළඳපොළ 2019 වසරේදී  ඇමරිකානු ඩොලර් බිලියන 24.2 ක අගයක වටිනාකමින් යුක්ත වූ අතර,   2020 සිට 2027 දක්වා කාල සීමාව තුලදී,  2.2% ක සමුච්චිත වාර්ෂික වර්ධන වේගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආසියනු-පැසිෆික් කලාපයේ ඉදිකිරීම් කටයුතුවල  වර්ධනය සහ නාගරීකරණය, බිටුමන් ආශ්‍රිත වෙළඳපොළේ ඉහළ දියුණුවට ප්‍රධානතම හේතුව වේ.  සංවර්ධනය වෙමින් පවතින රටවල් වන ශ්‍රී ලංකාව හා  ඉන්දියාව,  චීනය සහ දකුණු කොරියාව වැනි රටවල් මෙම වෙළඳපොළ වර්ධනයෙහි  ප්‍රධාන කොටස් කරුවෝ වේ.  

වර්තමානයේ සමාගමේ ශේෂ පත්‍රයේ වත්කම් වල ශක්තිමත්භාවය වර්ධනය කරමින් එහි මෙහෙයුම් හැකියාව වැඩි කිරීම සඳහා ප්‍රාග්ධන පුළුල් කිරීමේ ක්‍රියාවලියක් කරා සමාගම ගමන් කරමින් සිටී. 2015 සිට 2019 දක්වා කාලය තුළ ආර්ථිකයේ පිරිහීමක් දක්නට ලැබුණු අතර, එහි අවසන් වීමක් ඉදිරියේදී දැක ගත හැකි වේ. තවද දැනට රජය මගින් සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති ප්‍රගතිශීලි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති තුළින්  ඉදිරියේදී විශාල ආර්ථික වර්ධනයක් රට තුළ ඇති වනු ඇත.

වෙළඳපොළ අභියෝගයන්ට සාර්ථකව  මුහුණ දීම උදෙසා සිය ශේෂ පත්‍රය ශක්තිමත් කළ යුතු බැවින් IAC සමාගම විසින් හිමිකම්  නිකුත්තුවක් සිදු කිරීමට පෙළඹී ඇත. වඩා ශක්තිමත් ශේෂ පත්‍රයක් මඟින් මාර්ග ඉදිකිරීමේ අවකාශයේ සහ ආරක්ෂිත ආලේපන අංශයේ නැගී එන වෙළඳ පොළ අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට IAC සමාගම  හට හැකි වේ.

හිමිකම්  නිකුත්තුවේ කොටසක මිල ශත 20 බැගින් වන අතර පුළුල් පරාසයක ආයෝජකයින්ට සමාගමේ වර්ධනය උදෙසා  ආයෝජනය කිරීමට අවස්ථාව ලබා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *