Sinhala

First Capital සමාගමශ්‍රී ලංකාවේ ප්‍රථම වරටඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජන WhatsApp හරහා සිදුකිරීමේ පහසුකම් ප්‍රවර්ධනය කරයි

Summary

දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ කීර්තියක් දිනා සිටින  First Capital සමාගම  ඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජන සහ මුදල් ආපසු ගැනීම WhatsApp හරහා සිදු කිරීමේ හැකියාව සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතය තුළින් […]

දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ කීර්තියක් දිනා සිටින  First Capital සමාගම  ඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජන සහ මුදල් ආපසු ගැනීම WhatsApp හරහා සිදු කිරීමේ හැකියාව සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතය තුළින් සිය ගනුදෙනුකාර පදනම වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇති නිසාම,  මෙම නව හඳුන්වා දීම සමඟින් වඩාත් පහසුවෙන් සිය ආයෝජන සේවා පරිශීලනය කිරීමේ හැකියාව ගනුදෙනුකරුවන් වෙත ලබා දීම  First Capital සමාගමේ අරමුණයි. මෙම නව සේවාව සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට First Capital ගනුදෙනුකරුවන්ට  WhatsApp හරහා ඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජනය කිරීම සහ අදාළ මුදල් නැවත ලබා ගැනීම සිදු කළ හැකි අතර, ඊට අමතර ව නවීන තාක්ෂණයෙන් යුත් නවෝත්පාදන හඳුන්වා දීම, උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම ආදී සේවාවන් තුළින් සිය ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීමට First Capital සමාගම නිරන්තරයෙන් කැප වෙයි.

මෙම අති නවීන සේවාව හරහා ආයෝජකයින්ට සිය ස්මාර්ට් ජංගම දුරකතනය හරහා ගනුදෙනු කටයුතු සිදු කිරීමේ හැකියාව ලැබෙන අතර, පළපුරුදු ආයෝජකයින්ගේ සිට නවක ආයෝජකයින් දක්වා සියලු දෙනාට මෙම සේවාව භාවිත කිරීමේ හැකියාව ලබා දීම First Capital සමාගම හඳුන්වා දෙන ඩිජිටල් සේවාවන්ගේ සුවිශේෂත්වයට උදාහරණ සපයයි.

ශ්‍රී ලංකා වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද, ‘2024 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ දී WhatsApp හරහා ඒකක භාර අරමුදල් ආශ්‍රිත ගනුදෙනු සක්‍රීය කර ඇති ශ්‍රී ලංකාවේ පළමු සේවාව වන ‘First Capital WhatsApp ආයෝජන සේවාව’ රන් සම්මානයෙන් පිදුම් ලැබීම First Capital සමාගම මෑත කාලීන ව ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස දැක්විය හැකි ය.  ඊට අමතර ව එම සම්මාන උලෙළේ දී, First Capital සමාගම විසින්,  Epic Lanka සමඟ එක් ව  සංවර්ධනය කරන ලද  අන්තර්ජාල සේවා සඳහා කුසලතා සම්මානයක් හිමි වීම ද එම සමාගම හඳුන්වා දී ඇති ඩිජිටල් සේවාවන්ගේ සාර්ථකත්වයට උදාහරණ සපයයි.

ශ්‍රී ලංකා ව තුළ ඩිජිටල් සේවාවන් වඩාත් ප්‍රචලිත වන වර්තමානයේ,  ඒකක භාර අරමුදල්  ආශ්‍රිත ව නව සේවාවන් හඳුන්වා දීම අතින්  First Capital සමාගම පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන අතර,  ඒ සඳහා WhatsApp වැනි ජනප්‍රිය සේවාවන් භාවිත කිරීම හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක සේවාවක් ලබා දීම ප්‍රශංසනීය වේ.  

Money Market Fund සහ Money Plus Fund ඇතුළු ඒකක භාර අරමුදල්වල ආයෝජනය කර ඇති ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු තව තවත් විධිමත් කිරීම වෙනුවෙන් ම නිර්මාණය කර ඇති නව WhatsApp bot සේවාව හඳුන්වා දීමට First Capital සමාගම කටයුතු කර ඇති අතර, මෙම සුවිශේෂී සේවාව මඟින් ගනුදෙනුකරුවන්ට ඒකක භාර අරමුදල් ආශ්‍රිත විවිධ  ගනුදෙනු WhatsApp හරහා ඉතා පහසුවෙන් සිදු කිරීමේ පහසුකම්  ලබා දෙයි.  0766 656 656 යන WhatsApp අංකයට ‘Hi’ ලෙස ටයිප් කර පණිවුඩයක් යැවීම හරහා WhatsApp bot සේවාව ක්‍රියාත්මක කළ හැකි අතර,  ඉන් පසු ව ගනුදෙනු කටයුතු සිදු කර ගෙන යාම සඳහා පැහැදිලි ලෙස  උපදෙස් ලබා දීම සිදු වේ. ඒකක භාර අරමුදල්වල ආයෝජනය කිරීම, ඉන් ඉවත් වීම, ශේෂය පරීක්ෂා කිරීම,  ඒකක භාර අරමුදල් ආශ්‍රිත මිල ගණන් බැලීම සහ First Capital Money Plus අරමුදලට ක්ෂණික ප්‍රවේශය සඳහා ඩෙබිට් කාඩ් පතක් ඉල්ලුම් කිරීම WhatsApp bot සේවාව හරහා සිදු කළ හැකි ය. එමෙන් ම Meta විසින් සත්‍යාපනය කරන ලද Blue Tick අන්තර්ගත ව්‍යාපාරික ගිණුමක් මගින් මෙහි සන්නිවේදන ක්‍රියාවලියේ විශ්වසනීය බව තහවුරු කිරීම නිසා ගනුදෙනුකරුවන්ට ඉතා විශ්වාසයෙන් යුතු ව මෙම සේවාව භාවිත කළ හැකි ය.

මෙම සේවාව ආශ්‍රිත සියලු ම ගනුදෙනුවල ආරක්ෂාව සහතික කිරීම සඳහා, First Capital සමාගම විසින් ශක්තිමත් ආරක්ෂක පියවර කිහිපයක් හඳුන්වා දී ඇති අතර,  ලියාපදිංචි කිරීමේ සහ සත්‍යාපන ක්‍රියාවලියේ දී ඉලක්කම් 6ක OTP (One Time Password) අංකයක් ලබා දීම, පරිශීලන අවස්ථා සහ මුදල් ආපසු ගැනීම් ආශ්‍රිත ආරක්ෂාව වර්ධනය  කිරීම වෙනුවෙන් තත්පර 40ක කල් ඉකුත් වීමේ කාලයක් ලබා දීම,  පාරිභෝගිකයාගේ ලියාපදිංචි ප්‍රාථමික ගිණුමට පමණක් අවසර ලබා දීම ආදිය එම ආරක්ෂක පියවර අතරින් විශේෂිත වේ.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් First Capital සමාගමේ ප්‍රධාන ඩිජිටල් හා තාක්ෂණ නිලධාරී මිතිල අබේසේකර මහතා පැවසුවේ, “මූල්‍ය සේවා ක්ෂේත්‍රය ආශ්‍රිත ව තාක්ෂණික පෙරළියක් සිදු වෙමින් පවතින වර්තමානයේ ඩිජිටල් මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් WhatsApp භාවිතයෙන් ඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජන කළමනාකරණය සඳහා හැකියාව ලබා දීමට හැකි වීම ගැන අපි ඉතා සතුටු වෙනවා. මෙම නව සේවාව හරහා ගනුදෙනුකරුවන්ට තම ආයෝජන පහසුවෙන්, කාර්යක්ෂමව හා  ආරක්ෂිත ව  කළමනාකරණය කිරීමේ හැකියාව ලබා දෙනවා. මෙම නව සේවාවන් හරහා තාක්‍ෂණයෙන් ඔබ්බට යමින් අපගේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කළමනාකරණ අවශ්‍යතා සඳහා සුවිශේෂී සේවාවන් ලබා දීමට හැකි බව  First Capital සමාගමේ ප්‍රධාන ඩිජිටල් හා තාක්ෂණ නිලධාරියා විදියට මම විශ්වාස කරනවා. මෙම සේවාව දැනට ඉංග්‍රීසි භාෂාවෙන් සපයන අතර, ඉතා නුදුරු අනාගතයේ දී සිංහල සහ දෙමළ භාෂාවෙන් ද මෙම සේවාව භාවිත කිරීමේ පහසුකම් සලසා දීමට අපි කටයුතු කරන බවත් පැවසිය යුතුමයි.” යනුවෙනි.

මෙහි දී අදහස් දක්වමින් First Capital Asset  Management සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කවීන් කරුණාමූර්ති මහතා ප්‍රකාශ කළේ, “First Capital සමාගම, ගනුදෙනුකරුවන්ගේ ඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජනය වඩාත් පහසු හා කාර්යක්ෂම කිරීමට නිරන්තරයෙන් කැප වෙනවා. ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයට නව ඩිජිටල් සේවාවන් හඳුන්වා දීමට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන First Capital සමාගමට, ආයෝජන  කළමනාකරණ ක්‍රියාවලිය පහසු කරන මෙම WhatsApp සේවාව හඳුන්වා දීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වගේ ම නවෝත්පාදන හරහා පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට වගේ ම සැමට සමාන ආයෝජන අවස්ථා ලබා දීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කරමින් ඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජන ඇතුළු සේවාවන් රැසක් WhatsApp හරහා ලබා දීම First Capital සමාගම ලැබූ ජයග්‍රහණයකි.  ආයෝජන ක්‍රියාවලිය සරල කරමින්, ගනුදෙනුකරුවන්ට සිය ඇඟිලි තුඩෙන් ඉතා පහසුවෙන් මූල්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව ලබා දීම  First Capital සමාගමේ විශිෂ්ටත්වයට හොඳ ම උදාහරණයකි. එමෙන් ම  ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම ආශ්‍රිත ව වෙළෙඳපොළ අතරමැදියෙකු ලෙස සිය කාර්යභාරය මෙවැනි නව සේවාවන් හරහා ප්‍රශස්ත කිරීම  First Capital සමාගමේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *