Sinhala

කාන්තා හිංසනය පිටුදකිමින්, ප්‍රචණ්ඩත්වයෙන් තොර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් British Council, FISD සහ JSAC එක්වෙති

Summary

ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් කාන්තා හිංසනය මෙන් ම සයිබර් අවකාශය ඔස්සේ සිදුකෙරෙන ලිංගික හිංසනයන් පිටුදැකීමේ අරමුණින් British Council, The Foundation for Innovative Social Development (FISD) සහJSAC යන ආයතන එක්ව  ‘Future Without Violence‘ ව්‍යාපෘතිය දියත් කිරීම සිදුකෙරුණි. කාන්තාවන්ට […]

ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් කාන්තා හිංසනය මෙන් ම සයිබර් අවකාශය ඔස්සේ සිදුකෙරෙන ලිංගික හිංසනයන් පිටුදැකීමේ අරමුණින් British Council, The Foundation for Innovative Social Development (FISD) සහJSAC යන ආයතන එක්ව  Future Without Violence ව්‍යාපෘතිය දියත් කිරීම සිදුකෙරුණි. කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනයන් වැළැක්වීම සඳහා වූ VAWG ව්‍යාපෘතියේ දිගුවක් වන මෙම  ව්‍යාපෘතිය 2018 වසරේ සිට 2020 වසර දක්වා දියත් කෙරුණු අතර, ඒ සඳහා Jaffna Social Action Center (JSAC), Janathakshan සහ Hashtag Generation යන සංවිධානයන් ද අත්වැල් බැඳගත්හ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනය දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පවතින, එහෙත් එතරම් අවධානය යොමු නොවූ ව්‍යසනයකි. COVID-19 වසංගත තත්ත්වය නිසා ඉගෙනීම සහ අනෙකුත් අන්තර් සන්නිවේදන ක්‍රියාකාරකම් සඳහා අන්තර්ජාලය භාවිතා කිරීම වැඩි වීම වැනි විවිධ හේතු නිසා  මෑත කාලීනව කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව  ලිංගික හිංසනය, ගෘහස්ථ හිංසනය සහ සයිබර් ප්‍රචණ්ඩත්වය වැනි තත්ත්වයන් ඉහළ ගිය බව වාර්තා විණි. රට අගුලු දමා තිබූ කාලයේ දී මෙන් ම දැඩි සංචරන සීමා නිසා නිවසේ සිරවී සිටි එම වින්දිතයින් වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දුන් හ. 

‘Future Without Violence’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර සයිබර් ප්‍රචණ්ඩත්වය පිළිබඳව  සමීක්ෂණයක් සිදුකෙරුණු අතර, එහිදී අනාවරණය කරගත් බොහෝ තොරතුරු සහ එහි නිර්දේශයන් තුළින් අදාල ගැටලුවලට විසඳුම් ලබාදීම  සඳහා මේ වනවිටත් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. එමෙන් ම මෙම ව්‍යාපෘති දෙක යටතේ මේ වන විට යාපනය, මොණරාගල, හම්බන්තොට, කොළඹ සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල දැනුවත් කිරීමේ සහ ධාරිතා වර්ධනය කිරීමේ වැඩසටහන් පවත්වා ඇති අතර,  ලිංගික හිංසනයන්ට සහ අතවරයන්ට මුහුණ දුන් කාන්තාවන්ගේ අයිතීන් සුරැකීම සහ යහපැවැත්ම  උදෙසා උපදේශනයන් ලබා දීම,  යම් හිංසනයක දී ඒ වෙනුවෙන් ප්‍රතිචාරාත්මක සන්නිවේදනයන් වැඩිදියුණු කිරීම සහ එවැනි හිංසන සිද්ධීන් සාධාරණීකරණය කරන පුද්ගලයින්ට ආමන්ත්‍රණය කිරීම එහි දී ප්‍රධාන වශයෙන් අරමුණු කෙරිණි.

British Council,  ඉංග්‍රීසි අධ්‍යාපනය, කලාව සහ සංස්කෘතික වැඩසටහන් මගින් විවිධ සමාජ ස්ථරයන් බලගැන්වීම පිළිබඳව  සංවේදී වන ආයතනයක් වන අතර එවැනි වැඩ සටහන් සඳහා සහයෝගය ලබාදෙන ආයතනයකි. මෙම ව්‍යාපෘතිය තුළින් British Council ආයතනය තරුණ කණ්ඩායම් සමඟ සහයෝගයෙන්  කටයුතු කරමින්, මඩකලපුව, හම්බන්තොට, යාපනය සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල කාන්තාවන්ගේ හා ගැහැණු ළමුන්ගේ කුසලතා ඉහළ නැංවීමට සහ ආර්ථික තත්ත්වය  වර්‍ධනය කිරීමට ද සහය විය. එමෙන් ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය, පෞද්ගලික, ලාභ නොලබන සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක් සමඟ සමීපව, සහයෝගයෙන් කටයුතු කරන British Council ආයතනය FISD සමග අත්වැල් බැඳගනිමින්  ‘VAWG’ සහ ‘Future Without Violence’  යන වැඩසටහන් මගින් කාන්තාවන් සහ තරුණ කණ්ඩායම් 20 කට වැඩි සංඛ්‍යාවක් බලගැන්වීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

 වර්තමානයේ දී  මෙන් ම අනාගතයේ දී ද මෙම වැඩසටහන් මාලාව තුළින් සමාජ ප්‍රචණ්ඩත්වය සහ හිංසනයන් අවම කිරීම, සයිබර් ප්‍රචණ්ඩත්වය අවම කිරීම,   කාන්තාවන් සවිබලගැන්වීම සහ සමාජය යහපත් අයුරින් වෙනස් කිරීම සඳහා හඬක් නැගීමට British Council ආයතනයකැපවන බව අවධාරණය කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *