Sinhala

සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව IDH රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

Summary

කෝවිඩ් 19 වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දරන වෑයමට සහයක් වශයෙන්, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව විසින් රු. 200 000 කට අධික වටිනාකමින් යුතු වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය තොගයක්, පසුගියදා ජාතික බෝවන […]

කෝවිඩ් 19 වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දරන වෑයමට සහයක් වශයෙන්, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව විසින් රු. 200 000 කට අධික වටිනාකමින් යුතු වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය තොගයක්, පසුගියදා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ලබා දෙන ලදී.  වෛද්‍යවරුන් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර පිරි නැමීම පිණිස, සබරගමුව විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුව මෑතක ආරම්භ කරන ලද වැඩසටහනක එක් පියවරක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. 

මේ දිනවල පැතිර යන කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා රටවල් ගණනාවකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ලොව වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි අසීරුතාවට පත්ව සිටිති. එහෙත්, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතාමත් පරිශ්‍රමයෙන් මෙන්ම දැඩි කැප වීමෙන් එම තත්ත්වය හමුවේ කටයුතු කරනු දක්නට ලැබේ. කෝවිඩ් 19 වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා දිවා රෑ නොබලා වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දරන එම වෑයමට සහයක් වශයෙන් අවශ්‍ය වෛද්‍ය  උපකරණ හා අනෙකුත් ද්‍රව්‍ය ‍මෙලෙස පරිත්‍යාග කිරීමට සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව පියවර ගෙන තිබිණි.  

ඒ අනුව, පසුගියදා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත, ඊ.සී.ජී යන්ත්‍රයක්, විද්‍යුත් උෂ්ණත්වමාන 30 ක්, ආරක්ෂිත ඇඳුම් (කලිසම්, කමිස) හා ආරක්ෂිත පාවහන් ආදිය ප්‍රදානය කෙරිණි.  

ශ්‍රී ලංකවේ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ මෙම වැඩසටහන, මේ වන විට ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ දායකත්වයෙන් පමණක් ක්‍රියාත්මක කෙරෙන අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ හා අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ කටයුත්ත ඉතාමත් කෙටි කාලයක් තුළ සාර්ථක කර ගැනීමටද හැකිව තිබේ. මෙම වැඩසටහන මගින් ඉදිරියේදී, අනෙකුත් රෝහල් සඳහාද මෙවැනි පරිත්‍යාගයන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *