Sinhala

EDEX Expo නවමු මුහුණුවරකින් EDEX Hybrid Expo 2022 ලෙස නැවතත් පැවැත්වේ

Summary

EDEX Expo, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය 2022 මාර්තු මස 26 සහ 27 යන දෙදින තුළ කොළඹ 07 රාජකීය විද්‍යාලයීය MAS Arena පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර අවසන්ය. කොවිඩ් 19 ව්‍යසනයෙන් පසු 18 වන වරටත් […]

EDEX Expo, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය 2022 මාර්තු මස 26 සහ 27 යන දෙදින තුළ කොළඹ 07 රාජකීය විද්‍යාලයීය MAS Arena පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර අවසන්ය. කොවිඩ් 19 ව්‍යසනයෙන් පසු 18 වන වරටත් අඛණ්ඩව පැවැත්වෙන මෙවර EDEX Expo ප්‍රදර්ශනය මාර්ගගත ක්‍රමය යටතේද සම්බන්ධ වීමේ පහසුකම් සහිතව පවත්වනු ලබයි. ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, නැවුම් මුහුණුවරකින් ඇරඹෙන මෙවර EDEX Expo ප්‍රදර්ශනය 2022 මාර්තු මස 26 වන දින උදැසන 09.30 සිට නරඹන්නන්ගේ සහභාගිත්වය උදෙසා විවෘතව පවතී. 

2004 වසරේ පළමු ප්‍රදර්ශනය සමඟින් ඇරඹී EDEX Expo ව්‍යාපෘතිය සාමාන්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයකින් බැහැරව පුළුල් වූ අරමුණු පෙරදැරිව පවත්වනු ලබන ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘතියකි. 

ශ්‍රී ලාංකේය තාරුණ්‍ය ජාත්‍යන්තර තරඟකාරී මට්ටමකට පත්කිරීම අරමුණු කොටගත් EDEX Expo අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙස් විදෙස් කීර්තියට පත් ප්‍රදර්ශනයකි. නවීන තාක්‍ෂණයෙන් බලගැන්වෙන 2022 EDEX Hybrid Expo, ශ්‍රී ලාංකේය අධ්‍යාපන ප්‍රදර්ශන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති අතර සහභාගීවන්නන් සඳහා නැවුම් අත්දැකීමක් ලබාදෙනු ඇත.  

ලොව පුරා ඉතා සාර්ථක මාර්ගගත ප්‍රදර්ශන පවත්වා පෘථුල අත්දැකීම් ඇති ඉන්දියානු තාක්ෂණ සේවා සපයන්නෙකු වන Floor ආයතනයේ හවුල්කාරිත්වය මෙවර ප්‍රදර්ශනයේ සුවිශේෂී වූ අගය වැඩි වීමකි. Floor ආයතනයේ නවීන තාක්ෂණ බලගැන්වීම තුළින් පවත්වනු ලබන මාර්ගගත ප්‍රදර්ශනය, ශ්‍රී ලාංකික සිසුසිසුවියන්ට මෙන්ම දෙමාපියන්ටද ආරක්ෂිතව නිවෙස් තුළ සිටම අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථා හඳුනා ගැනීමට ඉවහල්වනු ඇත. 

අති නවීන තාක්‍ෂණයෙන් බලගැන්වුණු Floor මෘදුකාංගය බාගත කිරීමකින් තොරව පරිගණක, ලැප්ටොප් ටැබ් සහ ජංගම උපාංග මඟින් සේවා ලබාගත හැකි ක්‍රමවේදයකින්ද සමන්විත විසඳුමක් වන අතර one-to-one, one-to-many, සහ many-to-many සම්බන්ධ වීමේ අවකාශ සහිත සේවාවකි. නව මුහුණුවරකින් පැවැත්වෙන 2022, EDEX Hybrid Expo මඟින් මාර්ගගත ප්‍රදර්ශන කුටි හිමියන් හට ශ්‍රව්‍ය දෘශ්‍ය අවකාශ ලබා දෙන අතර වීඩියෝ, දැන්වීම්, පාඨමාලා දත්ත ඇතුළත් කිරීමේ සහ මාර්ගගත ප්‍රවර්ධනයන් සිදුකිරීමේ අවකාශයද සලසා දී ඇත. 

දේශීය සහ විදේශීය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 47ක සම්මිශ්‍රණයක අත්දැකීම් විඳ ගැනීමේ මහඟු අවස්ථාවක් මෙවර ප්‍රදර්ශනය නරඹන්නන් හට ලැබෙන අතර කැනඩාව, ප්‍රංශය, ජපානය සහ පාකිස්තානය වැනි රටවල කීර්තිමත් අධ්‍යාපන ආයතනවල සහභාගිත්වය මෙවර ප්‍රදර්ශනයේ විශේෂත්වයක් වන අතර නරඹන්නන් හට වඩාත් පුළුල් අත්දැකීමක් ලබාදෙනු ඇත. 

අධ්‍යාපන ප්‍රදර්ශනයකටම සීමා නොවුණු 2022 EDEX Hybrid Expo රැකියා වෙළෙඳපොළ, වෘත්තීය මාර්ග උපදේශන හා ව්‍යවසායකත්ව කලාප ලෙස ක්‍රියාත්මක වන අතර EDEX සමාජ සත්කාරක ව්‍යාපෘති වන EDEX නැණපහන සහ EDEX සිතුවම්හි සහභාගිත්වයෙන්ද සුවිශේෂී වේ.  EDEX රැකියා අංශය මඟින් ශ්‍රී ලාංකේය ප්‍රමුඛ පෙළේ ආයතනවල ප්‍රදර්ශන කුටි ක්‍රියාත්මක කරන අතර රැකියා පිළිබඳ උනන්දු ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට මහඟු පිටිවහලක් වනු ඇත. EDEX Careers මඟින් ශ්‍රී ලාංකේය ප්‍රමුඛ පෙලේ වෘත්තිකයන් සමඟ වෘත්තීය මාර්ගෝපදේශන සහ සාර්ථක සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය දැනුම ලබාදීම සිදු කරයි.

රට සංවර්ධනය කරා මෙහෙයවමින් අනාගත පරපුරේ නායකයන් වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට, EDEX Expo නැරඹීමට සහ ඔවුන්ගේ පුද්ගලික සහ වෘත්තීය සංවර්ධනය උදෙසා ඇති විශාල අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට EDEX ආරාධනා කරසිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *