Sinhala

ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනයට ආයෝජන ඉහළ නැංවීම මගින්, රැකියා අවස්ථා බහුල ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම කෙරෙහි ප්‍රතිපත්තිමය අවධානය යොමු කරයි.

Summary

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ශ්‍රී ලංකා මහ බැංකුව, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම හා පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ නැංවීමේ අරමුණින්, ජාතික ප්‍රතිපත්ති සම්මන්ත්‍රණයක් පසුගිය දා සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී […]

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ශ්‍රී ලංකා මහ බැංකුව, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම හා පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ නැංවීමේ අරමුණින්, ජාතික ප්‍රතිපත්ති සම්මන්ත්‍රණයක් පසුගිය දා සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනය සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා හිතකර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට කාලාපීයව හා ආංශිකව පවතින අභියෝග, සංකල්ප හා ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡාවට ලක් විය. මෙම සම්මන්ත්‍රණය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ “ආර්ථික සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය මගින් ප්‍රාදේශීය සවිබල ගැන්වීම” (LEED+) සහ “දකුණු ආසියානු ව්‍යවසායකත්ව නායකත්ව” (SALE) යන ප්‍රමුඛ ව්‍යාපෘති දෙකෙහි ඒකාබද්ධ ව්‍යායාමයකි.

මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සිය අදහස් දක්වමින්, “විශේෂයෙන් ම, තරුණ ප්‍රජාව අතර ව්‍යවසායකත්ව මානසිකත්වයක් ගොඩ නැංවීමේ වැදගත් බව මෙම සම්මන්ත්‍රණය මගින් අවධාරණය කරනවා. තිරසර ආර්ථික සංවර්ධනයක් උදා කර ගැනීමට නම්, ව්‍යවසායකත්වය හුදු අවසාන විකල්පය නොව කැමැත්තෙන් යොමුවන වෘත්තීය අවස්ථාවක් ලෙස දකින, ආකල්පමය වෙනසක අවශ්‍යතාවය මෙහි දී හඳුනාගනු ලැබුවා. ව්‍යවසාය සංවර්ධනය සඳහා හිතකර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ දී. විවිධ කර්මාන්ත සහ ප්‍රදේශයන් හි සුවිශේෂී ලක්ෂණ සහ අවස්ථා පිළිබඳ ව සැලකිල්ලට ගැනෙන පරිදි, ආංශික හා ප්‍රාදේශීය සාධක කෙරෙහි අවධානය යොමු කළ යුතු යි.”

උතුරු පළාතේ ආයෝජන සඳහා ඇති අවස්ථා සහ අභියෝග හඳුනාගැනීම පිණිස, ආංශික වශයෙන් සාකච්ඡා කිරීම ද, මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම සඳහා මූලික වූ ප්‍රධාන අරමුණකි. ILO LEED+ ව්‍යාපෘතිය විසින් මෙම පළාතේ නිශ්චිත අවශ්‍යතා පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙමින්, ප්‍රතිපත්ති සංවාදය හා නිර්දේශ සඳහා මග පෙන්වන ලදී. ILO SALE වැඩසටහන මගින්, ව්‍යවසායකත්වයට හිතකර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන පාර්ශවකරුවන් අතර සහයෝගීතාව සහ දැනුම බෙදා ගැනීමේ ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ ඒකාබද්ධ ප්‍රතිපත්ති සංවාද මාලාවක් පවත්වන ලදී.

උතුරු පළාත ප්‍රධාන ලේකම්, එස්.එම්.සමන් බන්දුලසේන මහතා සිය අදහස් මෙසේ දැක්වීය. “මෙම වැඩසටහනෙහි ඉදිරි ගමන, අදාළ අමාත්‍යාංශ, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, සහ ලංකා වාණිජ මණ්ඩලය වෙත පැවරෙනවා. ව්‍යවසායකත්වය සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ ඒකාබද්ධ වගකීම මෙම ආයතන වෙත පැවරෙනවා. මෙම ක්‍රියාමාර්ග මගින්, සියලු දෙනාටම සුනිසි හා ඵලදායී රැකියා අවස්ථා උත්පාදනය කිරීමට අපේක්ෂා කරනවා.”

නැගී එන නව ව්‍යා‍පාරවලට සහය වීමේ දී හා ව්‍යාපාර ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීමේ දී, රජය මෙන්ම සංවර්ධන ක්ෂේත්‍රයේ ආයතන සහ පෞද්ගලික අංශය ඇතුළු අනෙකුත් පරිසර පද්ධති ක්‍රියාකාරීන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බව ද මෙහිදී අවධාරණය කරන ලදී. අවශ්‍ය සහය සහ මගපෙන්වීම ලබා දීම මගින්, මෙම නව ව්‍යාපාර දියුණු කිරීම සඳහා උපකාර වීමට හා ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට දායක වීමට හැකියාව පවතී.

මෙම සම්මන්ත්‍රණයෙහි වැදගත් බව දක්වමින් අදහස් පළකළ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ සිම්රින් සිං මහත්මිය “ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා අවශ්‍ය මාර්ග ගවේෂණය කරමින් සිටින තීරණාත්මක අවස්ථාවක මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බව” ප්‍රකාශ කළාය. “රැකියා පිරිපුන් හා අන්තර්කරණය වූ පුනර්ජීවනයක් සඳහා දේශය මෙහෙය වීමේ දී, ප්‍රදේශයන්ට විශේෂිත වූ අභියෝග හා අවස්ථා සැලකීමට ගනිමින් කලාපීය සහ පළාත් මට්ටමින් ආයෝජනයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කර දීම මෙන්ම, ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ද ඉතා වැදගත් ‌වෙනවා. විවිධ පාර්ශවකරුවන් සමඟ පුළුල් ලෙස සම්බන්ධ වීම තුළින් ලබාගත් වටිනා අදහස් හුවමාරු කරගනිමින්, ප්‍රායෝගික හා ඵලදායී විසඳුම් ඉදිරිපත් කිරීම මගින්, වඩා හිතකර ප්‍රතිපත්ති සම්පාදනය සඳහා බලපෑම් කිරීමට මෙම සම්මන්ත්‍රණය කදිම වේදිකාවක්.”

ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශිරාන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, “මෙම කාලීන ජාතික ප්‍රතිපත්ති සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය ම වූ මැදිහත් වීමක් ලෙස දක්වන්න පුළුවන්. ආයෝජන හා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මගින්, ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම තිරසර සංවර්ධන අවස්ථා බිහි කිරීමට ද එය අරමුණු කර තිබෙනවා. ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සඳහා හිතකර පරිසරයක් ඇති කිරීම සහ කලාපීය ව සහ ජාතික වශයෙන් ආර්ථික සංවර්ධනය මෙහෙයවීමේ වැදගත්කම විදහා දැක්වීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණු ලෙස දක්වන්න පුළුවන්.”

සම්මන්ත්‍රණයේ දී ඉදිරිපත් වූයේ,  විවිධ පාර්ශවකරුවන් සමග පැවැත් වූ උපදේශනවලින් ලබාගත් හා පුළුල් පර්යේෂණ මත සම්පාදනය කරන ලද නිරීක්ෂණ සහ නිර්දේශ ය. ස්ථාවර හා පිළිගත් පාර්ශවකරුවන් බොහෝ ගණනක් සමග ඇති කරගෙන පවතින සහයෝගීතාවය හේතුවෙන්, යෝජිත විසඳුම්වල අදාළත්වය හා විශ්වාසනීයත්වය වඩාත් තහවුරු වේ.

LEED+ ව්‍යාපෘතිය ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි Global Jobs for Peace and Resilience නම් වැඩසටහනෙහි අංශයක් වන අතර, ඔස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) සහ නෝර්වේ රජය විසින් එයට සහාය දක්වයි. SALE වැඩසටහන සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුග්‍රහය දක්වයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය යනු වැඩලෝකය සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනය යි. ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් සම්පාදනය, තාක්ෂණික සහාය ලබා දීම, මෙන්ම සේවා නියුක්තිය, කම්කරු අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් වන තීරණාත්මක ගැටළු විසඳීම සඳහා ප්‍රතිපත්තිමය සංවාදයන්ට එළැඹීමට කටයුතු කරයි. ලොව පුරා සමාජ සාධාරණත්වය වර්ධනය කිරීමේ සහ සුනිසි රැකියා ප්‍රවර්ධනය කිරීමේ මෙහෙවර සාක්ෂාත් කිරීම සඳහා, රජයන්, සේවා යෝජක හා සේවක සංවිධාන සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග සමීපව කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *