Sinhala

ප්‍රථමවරට Oceanswell සහ Greenpeace South Asia සහයෝගයෙන් ඉන්දියන් සාගරයේ දුරස්ථ සාගර ප්‍රදේශය තුළ cetacean සමීක්ෂණයක් සිදුකරයි

Summary

සුප්‍රසිද්ධ  Rainbow Warrior නෞකාව මඟින් ඉන්දියන් සාගරයේ cetacean  දෘශ්‍ය සහ ධ්වනි සමීක්ෂණ කටයුතු  සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව   Greenpeace South Asia  සංවිධානය  සහ ශ්‍රී ලංකා Oceanswell සමුද්‍ර සංරක්ෂණ සංවිධානය  නැවත කොළඹට පැමිණ තිබේ. ප්‍රවීණ cetacean පර්යේෂිකාවක් මෙන්ම  Oceanswell සංවිධානයේ නිර්මාතෘවරිය වන […]

සුප්‍රසිද්ධ  Rainbow Warrior නෞකාව මඟින් ඉන්දියන් සාගරයේ cetacean  දෘශ්‍ය සහ ධ්වනි සමීක්ෂණ කටයුතු  සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව   Greenpeace South Asia  සංවිධානය  සහ ශ්‍රී ලංකා Oceanswell සමුද්‍ර සංරක්ෂණ සංවිධානය  නැවත කොළඹට පැමිණ තිබේ. ප්‍රවීණ cetacean පර්යේෂිකාවක් මෙන්ම  Oceanswell සංවිධානයේ නිර්මාතෘවරිය වන ආචාර්ය ආශා ද වොස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ Oceanswell සංවිධානය නියෝජනය කරන  ශ්‍රී ලාංකික තරුණ- තරුණියන් පිරිසකගේ සහයෝගී දායකත්වයෙන් මෙම විද්‍යාත්මක සමීක්ෂණය පවත්වන ලදී.

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් සහ අන්දමන්, නිකොබාර් දූපත්වලට දකුණින් ජාත්‍යන්තර මුහුදේ පිහිටා ඇති Ninety East Ridge හි උතුරු කොටස නෞකාවේ ගමන් මාර්ගය විය. මෙම සමීක්ෂණය  දින 10ක් පුරා කිලෝමීටර්  2431ක් ආවරණය කරමින්  සිදුකර ඇති අතර එහි මූලික අරමුණ වූයේ  දින 10ක් පුරා දෘශ්‍ය හා ධ්වනි අධ්‍යයනය කිරීම  මඟින් සාගරයේ මෙම දුරස්ථ කොටසෙහි cetacean විවිධත්වය ගවේෂණය කිරීම සහ ලේඛනගත කිරීම වේ.මෙහිදී සමීක්ෂණ කණ්ඩායම විසින් මෙම ප්‍රදේශය තුළ cetacean ජීවය පිළිබඳව යම් අදහසක් ලබා ගැනීම සඳහා 24/7 ධ්වනි සමීක්ෂණය සමඟ දිවා කාලයේදී දෘශ්‍ය සමීක්ෂණ සම්බන්ධ කරන ලදී. එම අධ්‍යයනයන් ඔස්සේ spinner, තිත් සහිත (spotted),  ඉරි සහිත (striped) සහ බෝතල් නාසයක් සහිත (bottlenose) ආදී වූ ඩොල්ෆින් විශේෂ 04ක් දෘශ්‍යමය වශයෙන් හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සහ ධ්වනි දත්ත විශ්ලේෂණය Oceanswell සංවිධානය විසින් ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය ආශා ද වොස් මහත්මිය මෙසේ සඳහන් කළාය. “මෙය ඉන්දියන් සාගරයේ මෙම ප්‍රදේශය සඳහාම විශේෂ වූ  cetacean දෘශ්‍ය හා ධ්වනි සමීක්ෂණයක් පවත්වන ලද පළමු අවස්ථාවයි. ලොව අනෙක් සාගර ප්‍රදේශයන්ට සාපේක්ෂව ඉන්දියන් සාගරයේ තවමත් cetacean සඳහා ප්‍රමාණවත්  අධ්‍යයනයක් සිදු කර නැහැ. එම නිසා මේ සති දෙක තුළ අපි එකතු  කරගත් දත්ත අපේ දැනුමට වගේම සාගර නිවහනේ වඩාත් දුරස්ථව පිහිටි ප්‍රදේශ පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමට අපිට බෙහෙවින් ඉවහල් වෙනවා.මෙහිදී අපිට අවම වශයෙන් ඩොල්ෆින් විශේෂ හතරක පමණ බීජ / Pods දැක ගැනීමට ලැබුණු අතර බොහෝ බීජ/ Pods වල අපි පැටවුන්ද දුටුවා.ඒ අනුව මේ ප්‍රදේශය පැටවුන් බිහිකරන අභිජනන ප්‍රදේශයක් ලෙස ද වැදගත් වෙනවා. මේ සමීක්ෂණයේදී අපිට අනාවරණය කර ගැනීමට ලැබුණු වඩාත් සුබ ආරංචිය එයයි.ඒ වගේම අපගේ පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු දිගු කාලීන වශයෙන් සිදුකිරීමේදී අවධානය යොමු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද මැනවින් තේරුම් ගැනීමට අපිට මෙම ප්‍රදේශයේ ස්වභාවය පිළිබඳ ගවේෂණය කිරීම ඉතා වැදගත් වෙනවා.අපිට ජාතික සාගර සීමාවෙන් ඔබ්බට ගොස් දුරස්ථ සාගර ප්‍රදේශයේ ගවේෂණ කටයුතු  සාර්ථකව සිදුකිරීමට Rainbow Warrior නෞකාව ඉතා උපකාරී වුණා. ඉන්දියන් සාගරයේ මෙම කෙළවරේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව සැබෑ කරුණු අනාවරණය  කිරීම සඳහා සාගරය පිළිබඳ අප රැස් කරගත් දත්ත   විශ්ලේෂණය කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා.”

මෙහිදී Greenpeace South Asia හී ප්‍රචාරක කළමනාකරු අවිනාශ් චංචල් කුමාර් මහතා  මෙසේ ප්‍රකාශ කළේය. “ඉන්දියන් සාගරය යනු ජලජ ජීවීන්ගේ සහ පරිසර පද්ධතිවල අපූර්ව විවිධත්වයක් සහිත නිවහනක්.මෙම සාගරය ද වේගයෙන්ම උණුසුම් වෙමින් පවතින බැවින් අපි මෙහි පවතින ජෛව විවිධත්වයේ ස්වභාවය ගැන අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වෙනවා.මෙහි දේශගුණික යථාර්ථයන් පිළිබඳ  මනා අවබෝධයක් ලබාගැනීමට  කලාපයේ ප්‍රජාවන් සහ ප්‍රවීණයන් සමඟ කටයුතු කිරීම සහතික කිරීම Greenpeace South Asia හී එක් ප්‍රධාන කාර්යභාරයක්. මෙම සමීක්ෂණය මඟින් රැස් කරගත් දත්ත  මෙහි සාගර ජෛව විවිධත්වය ගැන ගැඹුරු  අවබෝධයක් ලබාගැනීමට උපකාරී වේ යැයි අපි අපේක්ෂා කරනවා.”

2019 වසරේ සිට කිලෝමීටර් 63,950ක ප්‍රදේශයක් ආවරණය කරමින් Greenpeace විසින් ගෝලීය වශයෙන් විවිධ සාගර කලාප හරහා cetacean සමීක්ෂණ කිහිපයක් සිදු කර තිබෙන අතර එමඟින් ජීවීන් කණ්ඩායම් 1181 ක පමණ ධ්වනි හඳුනා ගැනීමට හැකි වී ඇත. ඒ අතර sperm තල්මසුන් කාණ්ඩ 388ක්, හොට සහිත තල්මසුන් (beaked) කාණ්ඩ 31ක් සහ ඩොල්ෆින් කාණ්ඩ 713ක්  ද සිටින අතර මෙම සමීක්ෂණ කළ ප්‍රදේශ තුළින් සාගර ජීවීන්ගේ විවිධත්වය ද මැනවින් අවධාරණය  විය.

2023 වසරේදී සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ගෝලීය සාගර ගිවිසුම මඟින් සාගර සඳහා විශාල පරිමාණයේ සංරක්ෂිත ප්‍රදේශ නිර්මාණය කිරීමට ඉඩ ලබා දී තිබේ. ටූනා, ඩොල්ෆින් සහ මෝරුන් වැනි ස්වභාවික තර්ජනයට ලක් වූ ජීවී විශේෂවල  ආරක්ෂාව  සාර්ථක කිරීමට නිර්මාණය කර ඇති සාගර අභයභූමිවලට ද නිල් කාබන් තොග සංරක්ෂණය කිරීමේ කදිම අවස්ථාවක් ඇත.

සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, දේශගුණික විපර්යාස ඇතිවීම අවම කිරීම සහ ඊළඟ පරම්පරාවේ අනාගතය සඳහා සහාය වීම වෙනුවෙන්  ගෝලීය සාගර ගිවිසුම අනුමත කරන ලෙස Greenpeace South Asia  සියලුම රටවලින්  ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *